සෙංකොට්ටං – Senkottan
රු900.00 රු720.00
“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.”
Additional information
Weight | 0.2 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 162 |
admin –
බබා හේනයාට ඕනෙ වුණේ තම ආතා වීරප්පුලි හේනයා වගේ ලොකු රෙදි පොට්ටනියක් කර තියාගෙන යන ශක්තිවන්ත රෙදි අපුල්ලන්නෙක් වෙන්න. රෙදි සෝඩා කලවම් වෙච්ච තම්බපු රෙදි සුවඳත් එක්ක ජීවත් වෙන්න. සෝදපු ඇඳුම් වල ලස්සනට සෙංකොට්ටං ලකුණු තියන්න.
උසස් කුල වල යැයි කියාගත් මිනිස්සුන්ගේ කුණු රෙදි හෝදන රාජකාරිය දේවකාරියක් වගේ කරපු රදා කුලේ වීරප්පුලි හේනයට පින් රැස්කර ගන්න පන්සලට දානෙ වතාවක් පූජා කරන්නවත් මේ පහත් ගති තියෙන මිනිස්සුන්ගෙන් තියා බුදු දහම රැක ගන්නවා කියන පන්සලේ හාමුදුරුවන්ගෙන් වත් අවසර හිමි වෙන්නේ නෑ.
පොඩිනා හා හීන් රිදී තම ජීවිත විනාශ කර ගන්නේ ආදරය කියලා හිතාගත්තු රැවටීමකට අහුවෙලා. මම ඒක දකින්නේ උන්ගේ මෝඩකම විදිහට නෙවෙයි. ඒක සමාජය පිළිබඳ නොදැනුවත්කම.
තම මුණුපුරු බබා හේනයව පාසලට ඇතුළත් කර ගන්න කියලා වීරප්පුලි හේනයා ගම්මු ඉස්සරහ පිංසෙණ්ඩු වුණත් අවස්ථාවක් නොලැබෙන නිසා බබා හේනයව ඉගෙනීම සඳහා තම පුතු ගාවට යැවීමට මල්මා රිදී හා වීරප්පුලි හේනයා තීරණය කරනවා. නමුත් තම මුණුපුරා ගමෙන් පිටවීම දරා ගත නොහැකිව වීරප්පුලි හේනයා සියදිවි හානි කරගන්නවා.
අසූ වියැති බබා හේනයා නොහොත් වික්ටර් සූරතිස්ස ආපහු ගමට එනකොට, එදා තම ආතා අනුරාධපුරයේ ඉඳලා පයින්ම වැඩමවා රෝපණය කරපු ඒ බෝ පැළය මහ ගහක් වෙලා. ඒ වටා විශාල පන්සලක් ඉදි වෙලා.
බබා හේනයා පන්සලේ හාමුදුරුවෝ සමග කතා කරන විට හාමුදුරුවන් පවසන්නේ ගමේ වලව්වේ සුදු අප්පොගේ ඥාතියෙකු විසින් මෙම බෝ පැළය ඒ කාලයේ අනුරාධපුරයේ සිට පෙරහැරකින් වඩම්මවා රෝපණය කළ බව සුදු අප්පො පැවසූ බවයි. වික්ටර් සූරතිස්ස හාමුදුරුවන්ගෙන් පැනයක් විමසයි.
“හාමුදුරුවනේ, වීරප්පුලි හේනයා කියලා මනුස්සයෙක් මේ පන්සල එක්ක මොකවත් සම්බන්ධයක් තිබුණා කියලා මිනිස්සු වත් කියල නැද්ද?”
“ම්හ්, එහෙම සඳහනක් කොහේවත් නැහැ.”
කිසිවෙකු දැන සිටියද, නොසිටියද සත්‍ය සත්‍යය. ඒ බෝධිය දෙසින් නැගෙන්නට වූයේ සත්‍යයේ සුවඳය. එනම් රෙදි සෝඩා මිශ්‍ර තම්බපු රෙදි සුවඳය. මේ බෝධිය ඒ සත්‍ය දනියි. ඒ නමුත් මිනිසුන්ගේ ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය…
“මේ ඒ අපූරු වූ සුවඳේ කතාන්දරයයි”
*සෙංකොට්ටං *
– Sewwandi Jayasuriya –